2004 කතානායක තෝරා ගැනීමේ ගැටුම සහ වි.ජ.මු



ලොකුබණ්ඩාර මහතා මිය ගිය පුවත සැලවූ විගස මගේ මතකයට ආවේ 2004 කතානායක තෝරා ගැනීමේ අවස්ථාවයි. එදා ගැලරියේ සිටි කිසිදු මාධ්යවේදියෙකුට හෝ එම පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිදු මන්ත්රීවරයෙකුට හෝ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කතානායක වූ අයුරු අමකත වන්නට විදියක් නැත.

2004 අප්රේල් 02 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 13 වන පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූයේ 2004 අප්රේල් 22 වැනිදා යි.
අළුතින් පිහිටුවාගැනුණු විපක්ෂ සන්ධානයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105 දිනාගනිමින් පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් වී තිබූ අතර එක්සත් ජාතික පෙරමුණ ආසන 82 දිනා ගත්තා. දෙමළ ජාතික සන්ධානය ආසන 22 දිනා ගත් අතර කුඩා පක්ෂ විසින් ඉතිරි ආසන 16 දිනා ගන්නා ගෙන තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන 105 තුළ ජවිපෙ නියෝජනය කළ මන්ත්රීවරුන් 39 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඓතිහාසික සිදුවීම වන්නේ ද 2004 මහමැතිවරණය තුළයි. එමෙන්ම ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා අට දෙනෙක් හෝ නම දෙනෙක් පාර්ලිමේන්තුවට පත්වුයේ ද මෙදාය.
කතානායක තෝරා පත් කර ගන්න අවස්ථාවේ ආණ්ඩුව ඩිව් ගුණසේකර මන්ත්රීවරයාගේ නම යෝජනා කළ අතර විපක්ෂය යෝජනා කළේ වි.ජ.මු ලොකුබණ්ඩාර මන්ත්රීවරයාගේ නමයි. ආණ්ඩුවට ආසන 105 පමණක් ඇති නිසා ලොකුබණ්ඩාර මහතාට දෙමළ සන්ධානයේ සහ හෙළ උරුමයේ සහාය හිමි වනු ඇතැයි එවක විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටියා විය හැකියි.
පාර්ලිමේන්තුව රැස්වුණා. සියල්ල ''බඩුම තමයි'' වූයේ ඉන් අනතුරුවයි. මුලින් ආසන වල සිට ඡන්දය දීමට යෝජනා වුවත් එය අතරමග කඩාකප්පල් වුණා. දෙවනුව සිදු වුණේ මුලාසනය ඉදිරිපිට තබන ලද පෙට්ටියකට සිය ඡන්දය සලකුණු කළ පත්රිකාවක් දමමින් ඡන්දය භාවිතා කිරීම යි. එම ක්රියාව ද අතරමග නතර වූයේ මන්ත්රීවරුන් සිය අසුන් වල සිට පැමිණ අදාළ පෙට්ටිය ළඟ වැඩි කාලයක් ගැනීම නිසායි.
ඔය අතරේ විපක්ෂයට කිසියම් සැකයක් ඇතිවී තමන්ගේ මන්ත්රීවරයා ඡන්දය දැමිය යුත්තේ පිටුපසින් පැමිණෙන තමන්ගේම විපක්ෂ මන්ත්රීවරයාට පෙන්වීමෙන් අනතුරුව බවට හදිසි තීරණයක් ගෙන තිබුණු බව එවක කියැවුණා. ඊට ආණ්ඩුව නියෝජනය කළ මංගල සමරවීර, ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ සහ මර්වින් සිල්වා වැනි මන්ත්රීවරුන්ගෙන් එල්ලවූ විරෝධය ඉතා ප්රභල වුණා. එමෙන්ම විපක්ෂයේ සිටි නවීන් දිසානායක මන්ත්රීවරයා තම ඡන්දය අදාළ පෙට්ටියට දැමු පසු මාධ්යවේදීන්ගේ ගැලරිය දෙසට හැරී අපට " ෆිට් " කියා මහපට ඇඟිල්ල ද පෙන්වූවා. ඒ, එවක ඔහු ආණ්ඩුවට යනු ඇතැයි යන රාවයක් ද පැවති නිසා විය හැකියි.
හෙළ උරුමය මුල් වට දෙකක දී ඡන්දය දීමෙන් වැලකී සිටි අතර තුන්වන හෝ හතර වන වටයකදී එහි භික්ෂුන් දෙනමක් ( උඩුවේ හිමි හා තවත් හිමිනමක් මට මතක විදියට) හදිසියේ ඡන්දය භාවිතා කළ අතර එය ආණ්ඩුවට හෙවත් ඩිව් ගුණසේකර මහතා වෙනුවෙන් වූ ඡන්දයක් බවට හැඟී යාමත් සමඟ හෙළ උරුමයේ සෙසු හිමිවරු ද ඡන්දය ප්රකාශ කිරීමට නැගී සිටීමත් සමඟ පාර්ලිමේන්තුව තුන් වන හෝ හතර වන වරට යළිත් යුධ පිටියක් වුණා.
සෙසු බොහෝ හිමිවරු වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාට වැඩි කැමැත්තක් ඇති බව දන්නා ආණ්ඩුව තව තවත් කලබලයට පත් වුණා. මම හිතන්නේ හෙළ උරුමය නියෝජනය කළ එම බහුතර හන්දුරු ගොල්ලෝ ලොකුබණ්ඩාර මහතාගේ දැනුම ආගමික කුසලතා සහ වෙන ආස දේවල් නිසා හදිසි තීරණයක් ගත්තා මිස වෙන උත්තේජනයක් තිබුණේ නැහැ.
එන්න එන්නම දරුණු වූ මේ ගැටුම ඉතිහාසගත වන්නේ භික්ෂුවකගේ රහස් ප්රදේශයක් ඉදිමෙන්නට කෑ පහරක් නිසායි. ඒ හාමුදුරුවෝ ඉස්පිරිතාල ඇඳේදීත් අඬන ස්වරුපයෙන් බණ කියනව වගේ දුන්නු වොයිස් එක එහෙමත් මට තව මතකයි.
කොහොම නමුත් 2004 දී ශ්රී ලංකාවේ 13 වන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස විපක්ෂයෙන් යෝජනා කළ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කතානායකවරයා ලෙස පත් වනවා.
එම පාර්ලිමේන්තුවේ අග්රාමාත්යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා.( 2004 අප්රේල් 06 දින ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින් නව අග්රාමාත්ය ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා පත්කළා)
එම 13 වන පාර්ලිමේන්තුවේ, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතා කටයුතු කළ අතර සභානායක වූයේ මෛත්රීපාල සිරිසේන මහතා යි. විපක්ෂයේ ප්රධාන සංවිධායක මහින්ද සමරසිංහ මහතා වූ අතර ගීතාංජන ගුණවර්ධන මහතා නියෝජ්ය කතානායක ලෙස පත් වුණා. මාධ්ය ප්රවීනයෙකු වූ ජනදාස පීරිස් මහතා දින කිහිපයක මන්ත්රීවරයෙකු වුයේ ද මේ 13 වන පර්ලිමේන්තුවෙ යි. එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ විජේදාස රාජපක්ෂ සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ද මෙම පාර්ලිමේන්තුවේ වඩාත් කතාබහට ලක්වන චරිත බවට පත් වුණා.
ලොකුබණ්ඩාර මහතා කතානායකවරයා ලෙස කටයුතු කළ කාල සිමාවේ මෙරට සිදුවූ වැදගත් සිදු වීම් කිහිපයක්

🎈ලංකා කම්කරු කොංග්රසයේ මන්ත්රීවරුන් එජනිස හා එක්වීමෙන් පාර්ලිමේන්තුවෙහි බහුතරය සන්ධානයට ලැබීම
🎈ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රීවරුන් 39 එජනිස වෙතින් ඉවත් වීම
🎈පළමුව කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ එජාපය අතහැර එජනිස හා එක් වීම
🎈එජාප 18 දෙනෙක් (කරු ජයසූරිය, ලක්ෂ්මන් යාපා, රෝහිත බෝගොල්ලාගම, පී. දයාරත්න, ආර්. එම්. ධර්මදාස බණ්ඩා, නවින් දිසානායක, එඩ්වඩ් ගුණසේකර, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, එම්. එච්. මොහමඩ්, මිලින්ද මොරගොඩ, එම්. මොහමඩ් මුස්තාපා, හේමකුමාර නානායක්කාර, නෙයොමාල් පෙරේරා, ජී. එල්. පීරිස්, රාජිත සේනාරත්න, සී. ඒ. සූරියාරච්චි, මනෝ විජේරත්න, මහින්ද විජේසේකර සහ ශ්රීලංමුකො මන්ත්රීවරුන් 6 දෙනෙක් එජනිස හා එක් වුණා(දෑත් ශක්තිමත් කිරීම යන වචනය ජන වහරට එක්වන්නේ මෙහිදියි )
🎈ඕමල්පේ සෝභිත හිමි ඉල්ලාඅස්වන අතර චම්පික රණවක මහතා පාර්ලිමේන්තු පැමිණීම.
🎈ජාතික හෙළ උරුමය ද එජනිස හා එක් වීම
🎈විමල් වීරවංස මහතා ජවිපෙ න් ඉවත් වීම
🎈මහීපාල හේරත් සහ රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව මහඇමතිවරුන් බවට පත් වීම
🎈S.B දිසානායක මහතා සිරගත වීම
🎈බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම
🎈ලක්ෂ්මන් කදිර්ගාමර්, ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ, ජෝසප් පරරාජසිංහම්, නඩරාජා රවිරාජ්, ටී. මහේෂ්වරන්, ද. මු. දසනායක, කේ. සිවනේසන් යන මන්ත්රීවරුන් ඝාතනය වූණා.
🎈මෙම පාර්ලිමේන්තුව නියෝජනය කළ අනුර බණ්ඩාරනායක, අමරසිරි දොඩන්ගොඩ, රෙජී රණතුංග, ඇලික් අළුවිහාරේ, ශ්රීපති සූරියාරච්චි යන මහත්වරුන් මිය යාම.
🎈මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට ශ්රී ලංකාවේ ජනාධිපති වීම සහ යුද්ධය අවසන් වීම වන විට කතානායක වුයේ ද වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා යි.

Post a Comment

0 Comments