එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන ව්‍යුහය සහ බලපෑමේ තියරිය


වර්ෂ 1945දී ලෝක සංවිධානයක් ලෙස පිහිටුවා ගනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන සාමාජික රටවල් ගණන 193කි. වසර 73ක ලෝක පරිමාණ අත්දැකීම් සමුදායකට හිමිකම් කියන්නා වූද දැවැන්ත මැදිහත්වීම් දහස් ගණනකට දායක වූ ද අතිවිශාල උප සංවිධාන හා වැඩසටහන් ඔස්සේ මානව ක්‍රියාකාරකම් රැසකට සෘජුව හා වක්‍රව බලපෑම් කළා වූ ලොව ශක්තිමත්ම සංවිධාන ව්‍යුහය ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි. “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය” හෙවත් ව්‍යවස්ථාමය ලේඛනය පිළිගන්නා වූ ස්වෛරී රාජ්‍යයන් මෙහි සාමාජිකත්වය උසුලනු ලැබේ. මෙම ප්‍රඥප්තිය ප්‍රකාරව මූලික වශයෙන්

01. ජාත්‍යන්තර වශයෙන් ලෝක සාමය පවත්වාගෙන යෑම සහ සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.

02. ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික, සමාජයීය, සංස්කෘතික, මානුෂීය ගැටලු විසඳීම සඳහා

ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.

03. ජාතීන් අතර සුහදතාව වර්ධනය කරමින් පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

04. මේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සංවිධානාත්මකව කටයුතු කිරීම යන කරුණු හතර

වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ සියලු ස්වෛරී රාජ්‍යයන් සමඟ බද්ධව කටයුතු කරනු ලබයි.


එක්සත් ජාතීන්ගේ  ප්‍රඥප්තිය තුළ අන්තර්ගත මූලධර්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමේ දී එහි මූලික අරමුණු සාර්ථක මෙන්ම අසාර්ථක වූ අවස්ථාවන් ද ලොව පුරා සාකච්ඡාවට බඳුන් වී ඇත.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය අතිශය අසාර්ථක වූ අවස්ථාවන් වලදී ලොව බලවත් රාජ්‍යවල අවශ්‍යතාව මත වෙනත් ස්වෛරී රාජ්‍යයක ස්වාධිපත්‍ය අභියෝගයට ලක්වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සාර්ථකත්වයකට හෝ ජයග්‍රහණයකට ලක් ව අවස්ථාවන් ද ලොව බලවත් රාජ්‍යයන් හි අවශ්‍යතාව, ආශීර්වාදය සහ මඟපෙන්වීම හෝ මැදිහත්වීම යටතේ සිදු වූ බව මෑතකාලීන උදාහරණ රැසක් ඔස්සේ විග්‍රහ කළ හැකිය”

“මෑතකාලීන ලෝක දේශපාලනය තුළ එක්සත් ජාතීන්ගේ  සංවිධානයට කිසිදු සාර්ථක මැදිහත්වීමක් (යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා) කළ නොහැකි වූ ඉරාක යුද්ධයත්, සිරියානු යුද්ධයත් තවමත් ලොව පුරා විවේචනයට වෙමින් පවතී. ටිබෙට් ආක්‍රමණය සහ ක්‍රිමියාවේ ජනමත විචාරණය ලෝකයේ තවත් කොටසක එලෙසම විවේචනයට ලක් වේ. ක්‍රිමියාවේ ජනමතවිචාරණය පිළිබඳව සහ කොසෝවෝ වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද මා මුලින් සඳහන් කළ පරිදි එක්සත් ජාතීන්ගේ  සංවිධානයම නියෝජනය කරන ප්‍රබල රාජ්‍යයන්ගේ අවශ්‍යතාවය මත සිදුවිය. ඉන්දුනීසියාවෙන් නැගෙනහිර ටිමෝරය වෙන් වීම ද එම අවශ්‍යතාවයම ඉටු වීමකි.”

#Udithamal
#Hemachandra

Post a Comment

0 Comments