මරණයෙන් පසු මංගල හා සුනිල්

 







මංගල සමරවීර මහතා මිය ගිය පසුව ඔහු පිළිබඳව ලියැවුණු අපමණ ගුණ කතන වලට පාට පක්ෂ භේදයක් තිබුණේ නැත. මංගල සමරවීර මහතා දේශපාලඥයෙකු වීම නිසාම ඔහු පිළිබඳ ලියැවුණු බොහෝ දේ අතර වඩාත් සිත්ගත්තේ මිය යන මොහොත වන විට ඔහු දැරූ දේශපාලන මතවාදය පිළිබඳව ඔහුට විරුද්ධ මතධාරීන් පවා යටි සිතේ බැඳ තබා ගෙන සිටි ලිබරල් අදහස් ය. අසීරුම අවස්ථා වල පවා දේශපාලන වාසිය උදෙසා මතය වෙනස් නොකළ, ඇතැම් ජනප්රිය නොවන ප්රකාශ හරහා තම දේශපාලන ගමනට අනාගතයේ දී බලපෑමක් වන බව දැන දැනම වුව ද ස්වකීය ස්ථාවරය වෙනස් නොකොට මත පළ කිරීමට ඔහු සතුව තිබූ නිර්භීත බව ඔහුට කැමති මෙන්ම අකමැති දේශපාලන මත දරන්නෝ ද අනුමත කර තිබුණේ ය. මංගල මිය ගියවිට කතා කරන්නට ඉතිරිවූයේ ඔහු දැරූ මතවාද විනා මංගලගේ රංගන හැකියාවන්, ගායන හැකියාවන් හෝ ව්යාපාරිකයෙකු ලෙස මංගල දිනා ගත් කීර්ති නාමය වැනි තවත් දේවල් නොවේ. පූර්ණකාලීන දේශපාලඥයෙකු අවසන් හෝරාවේ ද පෙනී සිටි මතවාදයම පමණකි.

සුනිල් පෙරේරා මහතා ගායකයෙකි. ජනප්රිය ය. අද ඔහු පිළිබඳව ලියැවෙන සියක් අදහස් අතර පෙරමුණ ගන්නේ ද මිය යන මොහොතේ ඔහු පෙනීසිටි සමාජ මතවාදය යි. මිය ගිය සුනිල් පෙරේරා ගේ ගීතයක් පිළිබඳ කෙරෙන ඇගයීමක් පවා අවසන් වන්නේ ඊට පාදක වූ දේශපාලන වස්තුබීජය ඉහළට ඔසවමින් ය. සුනිල් පෙරේරා දැරූ විවෘත මතවාද ඔහු නියෝජනය කළ කඳවුරට වඩා ඔහුගේ මතවාදයට පන්නපන්නා පහරදුන් කඳවුරම දැන් ඉහළට ඔසවමින් සිටී. හරියට මංගලට වුණා වගේ ය.
මංගලට වගේ මරණයක් දේශපාලඥයෙකුටත් සුනිල්ට වගේ මරණයක් ගායකයෙකුටත් ලැබෙන්නේ නැත. ඒවා කොරෝනා මරණ නොව සුනිල්ලා ගේ මංගලලා අවසානයන් ය. මේ මරණ දෙකෙන්ම දේශපාලඥයන් සහ ගායකයන් හෝ වෙනත් සිවිල් බලයක් සහිත ඕනෑම කෙනෙකු යමක් ඉගෙන ගන්නේ නම්, ඒ තමන් විශ්වාස කරන මතයේ සිට සමාජය වෙත කරන බලපෑම සුළුපටු නොවන බව ය. ඒ අතින් මංගල ලා සුනිල් ලා ලෙස මිය යාමට දේශපාලඥයන්ට සහ තවත් අයට ආශාවක් හෝ ඇතිකළ ඔබ දෙපොළට බොහෝම ස්තුතියි.
උදිතමාල් හේමචන්ද්


Post a Comment

0 Comments